Monday, September 24, 2018

පින්නවල අලි අනාතාගාරය


   පින්නවල අලි අනාතාගාරය.




අලි ඇතුන් අපට සම්පතකි. විඩාබර වූ මනසට, ඔවුන්ගේ මේ චර්යා දෙස බලා සිටීම, හිතට සහනයකි. අලි ඇතුන්ගේ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳ දැක ගැනීමට ඇති හොඳ ම ස්ථානය ලෙස අප හඳුනාගෙන ඇත්තේ පින්නවල අලි අනාථාගාරයයි.


කොළඹ - මහනුවර මහා මාර්ගයේ කෑගල්ල පසුකර කරඬුපන මංසන්ධියෙන් හැරී , රඹුක්කන පාරේ ගමන්කරන විට පින්නවල අලි අනාථාගාරය හමුවේ.
පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර තිබෙන්නේ 1975 වර්ෂයේදී ය. ගතවූ වසර හතළිහක කාලය පුරාවට පින්නවල අලි අනාථාගාරය ජාත්‍යන්තර වශයෙනුත් ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූ ස්ථානයක් බවට පත්ව ඇත.
වනයේ අතරමංව සිටි අලි පැටවුන් හත් අටදෙනකුගෙන් ආරම්භ කළ මෙහි, අද වන විට අලි ගහනය 89 කි. ඒ, පිරිමි සතුන් 41ක් හා ගැහැනු සතුන් 48ක් ලෙස ය.


ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පින්නවල අලි අනාථාගාරය ආරම්භ වූ මුල් කාලයේදී, එය භාරව තිබුණේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ය. මාඔය සමීපයේ අක්කර 27ක පමණ භූමි ප්‍රමාණයක් පුරා මේ අලි අනාථාගාරය පැතිර තිබේ.
දේශීය හා විදේශීය සංචාරකයන්ගේ අවධානය නොමඳව හිමිවූ පින්නවල අලි අනාථාගාරය , සංචාරකයන් සඳහා දිනපතාම විවෘතව ඇත. එය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වන්නේ උදෑසන 8.30ට ය . පස්වරු 5.30ට එම කාලය නිමාවට පත්වේ. නියමිත කාලසටහනකට අනුව මේ ස්ථානයේ කටයුතු සිදුකෙරේ.
මෙහි අලි ඇතුන්ට දිය නෑම සඳහා වෙන්කර ඇත්තේ උදෑසන 10.00 සිට 12.00 දක්වා සහ පස්වරු 2.00 සිට 4.00 දක්වා කාලයයි. අලි ඇතුන්ගේ ශාරීරික උෂ්ණත්වය අවම කිරීම සඳහා මේ ආකාරයට දවසට දෙවරක් දිය නෑමට අවස්ථාව ලබාදී තිබේ. රැලෙන් ප්‍රතික්ෂේප වූ සහ රෝගී අලින් සඳහා මේ වේලාව වෙනස්වේ. ඔවුන් දිය නෑමට රැගෙන යන්නේ පෙරවරු 8.30 සිට 9.45 දක්වා සහ දහවල් 12.00 සිට 1.45 දක්වා කාලයේදී ය.


අලි අනාථාගාරයේ සිට මා ඔය දක්වා අලින් දිය නෑමට ගෙනයාමේදී, සයිරන් නලාවක් නාද කරන්නේ මඟ දෙපස සිටින සංචාරකයන් දැනුම්වත් කිරීමට ය. අලි අනාථාගාරයේ සිටින අලි ඇතුන් ද මේ නලා හඬ තමන්ගේ දිය නෑමේ වේලාව බව හොඳින් හඳුනාගෙන තිබේ. මේ නලා හඬත් සමඟින් එක පෙළට වැටුණු අලි රංචුව, මා ඔය කරා ගමන් කරන්නේ මහත් හදිසියකිනි. එහෙත් මේ කලබලය, මාඔයේ සිට ආපසු එනවිට දක්නට ලැබෙන්නේ නැත. අලි බලන්නන් විසින් කෙතරම් හොඳින් පොල් ලෙලිවලින් අතුල්ලා මේ අලි නෑව්ව ද, ආපසු එන අතරමඟදී දුවිලි නාගන්නා අලි ද නැතිවාම නොවේ.


අම්මා අහිමිව සිටින අලි පැටවුන්ට , මේ ස්ථානයේදී දිනකට පස්වතාවක් කිරි බීමට ලබා දේ. ඒ, පාන්දර .6.30, පෙ.ව. 9.15, දහවල් 1.15, පස්වරු 5.00ට සහ රාත්‍රී 8.00ටයි. උදෑසන 6.30 සහ රාත්‍රී 8.00ට කිරි ලබාදෙන අයුරු මහ ජනතාවට නැරැඹීමට නොහැකි වුව ද, අන් අවස්ථාවලදී කිරි පොවන අයුරු මහජන ප්‍රදර්ශනයට විවෘත ය. නියමිත ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන, අලි පැටවුන්ට කිරි පෙවීමට නරඹන්නන්ට මීට පෙර අවස්ථාව තිබුණ ද , අද එය අත්හිටුවා තිබේ.එයට හේතුව සංචාරකයන් නිසා අලි පැටවුන්ට විෂබීජ යාහැකි නිසා ය. එහෙත් එසේ වූ බවට මෙතෙක් වාර්තාවී නැත.
එම අවධියේදී කිරි බෝතලයක් පෙවීමට සංචාරකයකුගෙන් රුපියල් තුන්සිය පනහක් අය කළ අතර, මේ තීරණයත් සමඟින් වසරකට රුපියල් මිලියන අටක්, දහයක් අතර ප්‍රමාණයක් අලි අනාථාගාරයට අහිමිවන බව සොයාගෙන ඇත.
අලි ඇතුන්ට දෛනිකව ආහාර වශයෙන් කිතුල් කොට, කිතුල් අතු, පොල් අතු, කොස් අතු, කිතුල් බොඩ, බෝ අතු, නුග, ඇහැටු, වල් ඇඹරැල්ලා, දෙල් යනාදියෙන් සමන්විත මිශ්‍ර අතු කිලෝග්‍රෑම් 20,000ක් පමණ මිලට ගනී. ඊට අමතරව ගිලන්ව සිටින අලි සඳහා අන්නාසි, පැණි කොමඬු, කෙසෙල් ගෙඩි වැනි පලතුරු ද, බඩ ඉරිඟු, කවුපි, කිරිඳි වැනි ධාන්‍යමය කැබැලි රැසකින් සමන්විත සාන්ද්‍රමය ධාන්‍ය ආහාර ද ලබාදේ.


පින්නවල අලි ඇතුන්ගේ විශේෂත්වය නම්, ඒ සෑම අලි ඇතෙකුටම නමක් තබා තිබීම ය. හඳුනාගැනීමේ පහසුව සඳහා මෙලෙස නම් තබා ඇත. නම් තැබීමේදී ඔවුන් හමුවූ ප්‍රදේශය, ඔවුන්ගේ හැඩරුව වැනි කරුණු සලකා බලයි.
මුලින්ම පින්නවලට එක්වූ අලින්ට ‍නම් තබා ඇත්තේ නීලා, කදිරා, මාතලී, ජඳුරා, කොමලි, අනුෂා, කුමාරි හා විජය ලෙසිනි. මේ අතරින් කිහිප දෙනකුම තවමත් එහි සිටී. කුමාරි හා විජයට දාව පින්නවලදී උපත ලද මුල්ම අලි පැටවා ‘සුකුමලී’ය. 1984 වර්ෂයේ ජුලි මස 05 වැනිදා මේ අලි උපත සිදුවිණි. ‘සුකුමලි’ ද දැන් මවකි. මේ වන විට පින්නවල අලි නිවහනේදී පැටවුන් 71ක් උපත ලබා තිබේ. එහි අවසාන වතාවට පැටවකු ඉපදුණේ, පසුගිය අවුරුද්දේ ජුලි 09 වැනිදා ය.
1996 ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමත් සමඟ, 1977 පෙබරවාරි 07 වැනි දින උපත ලැබූ අලි පැටවා නම් කළේ ‘අර්ජුන’ නමිනි. එහි 50 වැනි පැටවා ඉපදුණේ 2009 මැයි 24 වැනිදා ය. එම පැටවා ‘කණක’ ලෙසින් නම් කෙරිණි. ශ්‍රී ලංකාවේ එතෙක් පැවැති යුද්ධය නිමා වී රට සාමකාමී වාතාවරණයකට පත්වීම නිමිත්තෙන් 2009 සැප්තැම්බර් මස18 වැනි දින උපන් අලි පැටවා නම් කළේ ‘දිනුදා’ නමිනි.
සත්ව හුවමාරු වැඩසටහන් යටතේ පින්නවල උපන් අලි පැටවුන් විවිධ රටවලට පරිත්‍යාග කර තිබේ. ඒ අතර, ජපානය, කොරියාව වැනි රටවල් ද වේ. අලි පැටවුන්ට නම් තැබීමේදී විදේශීය නම් ද තබා ඇත. ‘ එල්විනා’, ‘ ට්‍රින්කි’ හා ‘අයුකි’ එවැනි නම් ය. පින්නවල අලි අනාථාගාරයේදී වැඩිම අලි පැටවුන් ප්‍රමාණයක් බිහිව ඇත්තේ 2011 වර්ෂයේ දී ය. ඒ, පැටවුන් 14 දෙනෙකි. මේ වර්ෂයේදී පැටවුන් දහයක් පමණ බිහි වීමට නියමිත බවඅලි අනාථාගාර නිලධාරීහු පවසති. තරුණ වයසේ ඇතින්නියන් සිටියත්, පිරිමි අලි වයස්ගත වීම අලි පැටවුන්ගේ බිහිවීම අවම වීමට බලපා තිබො.
අලි අනාථාගාරයේ සිටින මේ අලි රංචුවේ නායකත්වය දරන්නේ ‘මාතලී’ නමැති ඇතින්නයි. එහෙත් ‘කොමලි’ දැන් එම නායකත්වයට අභියෝග කරන බවක් දක්නට ලැබේ. මාතලී සමඟ පොඩි පොඩි ගැටුම් ඇතිකර ගැනීමටත් කොමලි පටන්ගෙන තිබීම මඟින් ඒ බව පැහැදිලිවේ.
මේ දිනවල අලි අනාථාගාරයට පැමිණෙන සංචාරකයන්ගේ විශේෂ අවධානය දිනාගෙන තිබෙන්නේ අනුරාධා, පණ්ඩුල, මිගාර, නිල්ගල හා වරුණ යන අලි පැටවුන් ය. මිහින්තලාවේදී හා මිගලෑවේදී හමුවී රිටිගල අලි නිවහනේ සිට පින්නවලට ගෙන ආ පණ්ඩුල හා මිගාරත්, උඩවලව ඇත්අතුරු සෙවණේ සිට ගෙන ආ නිල්ගල හා වරුණත්, අනාථාගාරයේ වෙසෙන අලි සිඟිත්තන් ය. පින්නවලදී උපත ලැබූ අනුරාධාගේ මව සිටියත්, අනෙක් අලි පැටවුන්ගේ මවු පියන් ඔවුන් ළඟ නොමැත. ඒත් ඒ තනිකම දැන් ඔවුන්ට නොදැනෙන තරමට ඔවුන් එකිනෙකාට හිතවත්ව ඇත.
පින්නවල අලි අනාථාගාරයේ වෙසෙන අලින්ට නිදාගැනීමටත් වෙලාව වෙන්කර තිබේ. කුඩා පැටවුන් රාත්‍රී අට - නවය වන විට නිදා ගැනීමට සැරසුනත්, ලොකු අලි නිදාගන්නේ මැදියම් රාත්‍රියේදී ය. ඒත් ඒ එක නින්දක් පැය බාගයකට, පැයකට පමණ සීමා වේ.
කඩින් කඩ නිදාගන්නා අලි, අවදියෙන් සිටින විට කොළ අතු කමින් කාලය ගත කරති.
රාත්‍රී ගාල් කරන ස්ථානයට කොළ අතු ගෙනවිත් දැමීමට තෝරාගත් අලි පිරිසක් සිටී. එල්.ටී.ටී. ඊ කඳවුරක සිට සොයාගෙන පින්නවලට ගෙන ආ ‘මැණිකා’ ඇතින්නගේ ප්‍රධාන රාජකාරිය එයයි‍. ‘නීලා’. ‘සුමන’ හා ‘කිරියා’ මෙන් ම ‘පිල්ලුමලේ ද’ මේ රාජකාරියට දායක ‍වේ.
මා ඔයේ දිය නෑමෙන් පසු සවස 4.00ට අලි අනාථාගාරයට පැමිණෙන අලි ඇතුන්ට, පසුදා පෙරවරු 8.00ට යළි ලිහා දමන තුරු ජලය බීමට අවස්ථාවක් මෙතෙක් තිබුණේ නැත‍. අලින්ට රාත්‍රී කාලයේදී ද දිය බීම සඳහා ඔවුන් සමීපයේ ජල ටැංකි ඉදි කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ.
අලි අනාථාගාරයේ අලි ඇතුන් සඳහා කිරි පෙවීමට අවස්ථාව අහිමි වුවත්, ඔවුන්ට පලතුරු කැවීමට තවමත් සංචාරකයන්ට අවස්ථාව ඇත. ඒ සඳහා රු. 250/-ක ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමෙන් එම අවස්ථාව හිමිවේ. වසරකට රුපියල් මිලියන තුනක - හතරක පමණ මුදලක් අලි අනාථාගාරය එමඟින් උපයයි.
සුරනිමල, ජයතු, සුමන, නීලා හා සම්පත් පින්නවල සිටින තරමක් සැර අලින් ය. මෙහි සිටින්නේ අර්ධ වශයෙන් හීලෑ කරන ලද අලි ඇතුන් ය. විවිධ පෙරහර සඳහා පින්නවල අලි ලබා දීමට සමහර පිරිස් යෝජනා කළත්, මේ අලි රථවාහන, පන්දම් හා බෙරහඬට පුරුදු අලි ඇතුන් නොවේ. පින්නවල අලි ඇතුන් සිටි පමණින් එම අලි ඇතුන් පෙරහර සඳහා පහසුවෙන් යොදා ගත හැකියැයි කෙනකු සිතන්නේ නම් එය මිත්‍යාවකි.
පින්නවල සිටි අඳ ඇතා ‘රාජා’ ද 2013දී මිය ගියේ ය. දළ යුගළය කපා ගැනීම සඳහා වෙඩික්කරුවකු විසින් රාජාගේ සිරුරට හා දෑස්වලට වෙඩි තබා බරපතළ තුවාල සිදුකර සිටියදී, ‘රාජා’ පින්නවලට ගෙනාවේ ය. සද්දන්ත කුලයේ ඇතකු ලෙස සලකන ලද රාජාගේ දළ යුගල, දෙහිවල ජාතික සත්වෝද්‍යානය භාරයේ ඇත.
සෑම වසරකම අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ නැකතට පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන්ගේ ද හිස තෙල් ගල්වයි. ඒ ඔවුන්ගේ සුවපත් භාවය අපේක්ෂා කරමිනි. අලි ඇතුන් රැක ගැනීමේ වටිනාකම අනාගත පරපුරට කියා දීමේ මධ්‍යස්ථානයක් වශයෙන් පින්නවල අලි අනාථාගාරය කටයුතු කිරීම සතුට ගෙන දෙන්නකි.

Saturday, September 22, 2018

කුමන ජාතික වනෝද්‍යානය

   කුමන ජාතික වනෝද්‍යානය 


 
 



   විසිතුරු කුරුලු පාරාදීසය

කොළඹ නගරයෙන් කිලෝ මීටර් හාරසියයක් පමණ ඈතින් ශ්‍රී ලංකාවේ ගිනිකොන දිගට වන්නට අම්පාර දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති කුමන ජාතික වනෝද්‍යානය 2006 වසරේ සැප්තැම්බර් මාසය තෙක් ම හඳුන්වන ලද්දේ නැගෙනහිර යාල ජාතික වනෝද්‍යානය ලෙස යි. එහි දක්නට ලැබෙන පක්ෂි විවිධත්වය නිසා දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රසිද්ධ වී ඇති කුමන ජාතික වනෝද්‍යානයේ දී දක්නට ලැබෙන වඩාත් ආකර්ෂණීය ම පක්ෂි විශේෂ ලෙස සංක්‍රමණික දියසැවුලන් (waterfowl) සහ දිය කුරුල්ලන් (wading birds) හඳුන්වා දෙන්න පුළුවන්.

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් 1985 වසරේ සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත නොකරන ලද කුමන ජාතික වනෝද්‍යානය යළි මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද්දේ 2003 වසරේ මාර්තු මාසයේ දී යි. එසේ ම 2004 දී ඇති වූ සුනාමි තත්ත්වයට ද කුමන ජාතික වනෝද්‍යානය ගොදුරු වුණා.

පිහිටීම, පිවිසීම සහ අනෙකුත් භෞතික ලක්ෂණ

දකුණු දෙසින් කුඹුක්කන් ඔයට ද නැගෙනහිරට වන්නට මහ සයුරට ද මායිම් වී ඇති කුමන ජාතික වනෝද්‍යානයට පිවිසීමේ දොරටුව පිහිටා ඇත්තේ පානම යි. හෙක්ටයාර 35,664 ක භූමි ප්‍රමණයකින් යුතු වනෝද්‍යානය තුළ දෙස් විදෙස් පක්ෂීන්ගේ දිවි පැවැත්ම සඳහා නොමඳ දායකත්වයක් සපයන අඩි හතකට නොවැඩි ගැඹුරකින් යුතු කලපු 20 ක් පමණ දක්නට ලැබෙනවා.
කුමන ජාතික වනෝද්‍යානයේ මුළු භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 200 ක් පමණ ‘කුමන විල්ලු’ යනුවෙන් හඳුන්වනු ලබන කඩොලාන වගුරකින් නිර්මාණය වී ඇති අතර එය වරින් වර මුහුදු ජලයෙන් යට වීම සාමාන්‍ය සිදුවීමක්. මැයි සහ ජූනි මාසවල දී බොහෝමයක් ජලජ පක්ෂීන් කූඩු තැනීම සඳහා යොදා ගන්නේ මෙම කඩොලාන වගුර යි. කුමන ජාතික වනෝද්‍යානය මධ්‍යයේ දක්නට ලැබෙන වගුරු බිම් බොහෝමයක් වතුරට ඔරොත්තු දෙන තෘණ විශේෂයන්ගෙන් ආවරණය වී පවතින අතර ඊට යටින් නොයෙක් ආකාරයේ ජලජ පැළෑටි රාශියකින් යුක්ත වෙනවා.

එසේ ම කුමන ජාතික වනෝද්‍යානය තුළ දක්නට ලැබෙන ස්වභාවික දිය තටාක අතරින් කුඩාවිල වැව, තුම්මුල්ල වැව සහ කොටළිඳ වැව සංක්‍රමණික පක්ෂීන් වැඩි වශයෙන් ප්‍රිය කරන දිය තටාක ලෙස හඳුනා ගත හැකි යි.

වෙරළබඩ කලාපයේ පිහිටා ඇති කුමන ජාතික වනෝද්‍යානය මුහුදු මට්ටමේ සිට  අඩි 300 ක පමණ උසකින් පිහිටා ඇති අතර එහි වාර්ෂික උෂ්ණත්වය 27˚C ක් පමණ වෙනවා. වාර්තා වන අන්දමට මෙහි වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1,300 ක්.

පක්ෂි විවිධත්වය

කුමන ජාතික වනෝද්‍යානයේ දී ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් මෙන් ම නේවාසික සහ සංක්‍රමණික පක්ෂි විශේෂ 430 ක් පමණ හඳුනා ගැනීමට හැකි අතර පක්ෂීන් නරඹන්නෙකුට මේ අතරින් පක්ෂි විශේෂ 200 ක් පමණ ඉතාමත් පහසුවෙන් දැක බලා ගැනීමට හැකියාව පවතිනවා. ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන බොහෝමයක දී විවිධ ආකාරයේ පක්ෂි විශේෂ දැක බලා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව තිබුණ ද ඒ අතරින් වඩාත් වැදගත් සහ ජනප්‍රිය ම කුරුලු අභය භූමිය ලෙස කුමන ජාතික වනෝද්‍යානය හැඳින්වීමට හැකි යි.


අප්‍රේල් සිට ජූලි දක්වා කාලය තුළ දී පක්ෂි විශේෂ 225 කට පමණ අයත් පක්ෂීන් දස දහස් ගණනක් කුමන වගුරු බිම් කරා ඇදෙන අතර ඒ අතරින් වැඩි වශයෙන් දැක ගැනීමට ලැබෙන පක්ෂි විශේෂ අතරට පෙලිකන් කුරුල්ලන්, නොයෙක් වර්ණැති කොකුන්, ස්පූන්බිල් පක්ෂීන්, සුදු පැහැ අයිබිස් කුරුල්ලන්, කුඩා රාජාලින් සහ කොමරන්ට් පක්ෂීන් අයත් වෙනවා. එසේ ම කුමන වගුර ආශ්‍රිත ව අතිශය දුර්ලභ පක්ෂියෙකු ලෙස සැලකෙන කළු පැහැ ගෙලක් සහිත කොකුන් දැක ගැනීමට ලැබී ඇති අවස්ථා ද නැතුවා ම නොවෙයි. විශාල රංචු වශයෙන් කුමන ජාතික වනෝද්‍යානයට සංක්‍රමණය වන මෙම පක්ෂීන් එහි දී ම අභිජනනය කර අගෝස්තු මාසය අවසානයේ දී නැවතත් මව් රටවල් බලා ගමන් ආරම්භ කරනවා    



සිවුපාවුන්, උරගයින් සහ අනෙකුත් සත්ත්ව විශේෂ

කුමන ජාතික වනෝද්‍යානය නොයෙක් ආකාරයේ පක්ෂි විශේෂයන්ට හැරුණු විට තර්ජනයට ලක් වී ඇති ගල් කැස්බෑවා, ඔළුගෙඩි කැස්බෑවා සහ බටු කැස්බෑවා වැනි කැස්බෑ විශේෂයන්මෙන් ම දෙස් විදෙස් කිඹුල් විශේෂ වැනි තෙත්බිම් ජීව විශේෂ ගණනාවකටම නිවාසස්ථාන සපයනවා.

එසේ ම යාල වනෝද්‍යානයේ ආසන්නයේ පිහිටා ඇති කුමන ජාතික වනෝද්‍යානයේ දී අලි ඇතුන්, කොටියන්, වල් ඌරන්, නරියන්, යුරෝපීය දිය බල්ලන් මෙන් ම තර්ජනයට ලක් ව ඇති හඳුන් දිවියන් (fishing cat) වැනි සිවුපාවුන් ද දැක බලා ගැනීමට හැකි යි.




සංස්කෘතික වටිනාකම සහ සංරක්ෂිත තත්ත්වය

වර්තමානයේ දී කුමන ජාතික වනෝද්‍යානය පිහිටා ඇති ප්‍රදේශයේ ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවස දක්වා දිව යන ඉතිහාසයක් ඇති ශිෂ්ටාචාරයක් පැවතුණු බවට සාක්ෂි පවතිනවා. වනෝද්‍යානය අවට ප්‍රදේශවලින් ක්‍රිස්තු පූර්ව පළමු වැනි සහ දෙවැනි සියවස්වලට අයත් ශිලා ලේඛන සහ ගුහා සිතුවම් සොයා ගෙන ඇති අතර අතීතයේ දී කතරගම දේවාලය වෙත යන සාම්ප්‍රදායික මාර්ගය වැටී ඇත්තේ ද වනෝද්‍යානය මධ්‍යයෙන්.


මෑත කාලීන ව කුමන ජාතික වනෝද්‍යානය වෙත පැමිණෙන පක්ෂි විශේෂඥයින්ගේ සහ නරඹන්නන්ගේ සැලකිය යුතු අඩු වීමක් දක්නට ලැබෙන එයට බොහෝ විට හේතු වන්නට ඇත්තේ වනෝද්‍යානය ආශ්‍රිත ව දක්නට ලැබෙන වී වගාවන් සහ කලපු ආශ්‍රිත මිරිදිය මත්ස්‍ය කර්මාන්තය යි. එසේ ම පක්ෂි ගහනයේ ද සැලකිය යුතු අඩු වීමක් පවතින අතර තව දුරටත් පක්ෂීන්ගේ ස්වභාවික ජීවන රටාව කෙරෙහි බලපෑම් එල්ල කරමින් කිරින්ද සිට පානම දක්වා තැනීමට සූදානම් වන වෙරළබඩ මාර්ගය කෙරෙහි පරිසරවේදීන්ගේ දැඩි විරෝධතාවය එල්ල වී තිබෙනවා.